“ටික වෙලාවයි ගියේ, පුතා දෑස් උඩ දාලා හුස්ම ඇරියා”

මරණය, කොතරම්ම සාහසිකද? මෙලොව සෑම ජීවියෙකුගේම උපතත් සමග උපත ලබන මරණය, ජීවියා යළි මහ පොළවට ඇද දමන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව තම අභිමතය හා අභිමත කාලය අනුව දඩබ්බර අයුරිනි. සාහසික අයුරිනි. කිසිදු භේදයකින් තොරවය.

මරණය, මෙලෙස ඉතා සාහසික ලෙස පින්වත් දරුවෙකු මරා දැමීම පිළිබඳ ශෝචනීය පුවතක්‌ පසුගිය දිනවල ආණමඩුව ඌරියාව, පාලියාගම දෙසින් අසන්නට ලැබුණි.
දරුවා ඒ.එච්.එම්. මනීෂ නිම්සර අබේරත්නයි. වයස අවුරුදු 8 යි.

චන්ද්‍රිකා දමයන්ති හා අතුල බණ්‌ඩාර අබේරත්න තරුණ ගොවි යුවළට සිටියේ මැණිකක්‌ වන් මනීෂ පුතු පමණි. චන්ද්‍රිකා හා අතුලගේ ඔඩොක්‌කුවෙන් ඔඩොක්‌කුවට පනිමින් හුරතලයට මනීෂ හැදෙමින් ලොකු මහත් වෙමින් සිටියේය.

අවසනැ ළඟම ඇති පාලියාගම ශාරිපුත්‍ර විදුහලට මනීෂව ඇතුල් කරන ලදී. පාසලේදී ද ඔහු උගනිමින් ඉහළට එමින් තුන්වන ශේ්‍රණියේ දක්‍ෂ දරුවෙකු ලෙස ගුරුන්ගේත් කාගේත් සිත් දිනා ගනිමින් සිටියේය.

ඔහු දහම් පාසලේද පින්වත් දරුවෙකු ලෙසින් ක්‍රියා කළේය. පෙරහැරේ මුලින් අටපිරිකර තම හිස මත තබාගෙන මනීෂ සැදැහැ බැතියෙන් කොපමණ දුරක්‌ හෝ ඇවිද ගියේය. ඔහු වරෙක අටපිරිකර දහයක්‌ එක මොහොතේම පන්සලට පිදීය. කඨින පෙරහැරේ මුලටම සිටිනුයේද මනීෂය. තමනට පිටතින් ලැබෙන පොත් පත් පෑන්, පැන්සල්, සපත්තු, ඇඳුම් ඔහු නැති බැරි මිතුරනට බෙදා දුන්නේය. නිති දහම් පාසල් ගිය ඔහු භාවනා කරනායුරු තම ආච්චිටද කියා දුන්නේය.

මනීෂ පසුගිය 4 දා සවස පාසල් ඇරී නිවසට ආවේය. ඔහුගේ මාමා ඔවුන්ගේ ඉඩම අසල ඉඩමක ට්‍රැක්‌ටරයෙන් සාමින් සිටිනු දැක ඔහු එහි ගියේ පාසල් සපත්තු ගලවා තවත් සපත්තු යුවළක්‌ පැළැඳ දිගු කලිසමක්‌ද හැඳ ගෙනය. ඔහුගේ මවද පියාද ඒ අසලම කොටසේ තල වපුරමින් සිටියහ. මනීෂගේ මව පැදුරක්‌ දමා එහි වාඩිවී ඉදිරි පාසල් වැඩ කිරීමට පවසා මනීෂ එහි හිඳුවා ගියාය.

මව ගිය පසු මනීෂ, මාමා සී සෑ කොටස නැරඹීමට ගියේය. මොහොතකින් ඔහු “තාත්තේ මාව මොකෙක්දෝ කෑවා” යෑයි කියමින් කෑ ගැසීය. පියාද, මවද දුවගෙන ආවෝය. කාරණය සැබෑය. ඔහුගේ දිගු කලිසමද, සපත්තුව අතර වූ අඟලක්‌ පමණ නිරාවරණය වූ කකුලට කිසියම් සතෙකු දෂ්ට කර ඇති බවක්‌ පෙනුණි.

ඒ සමගම ට්‍රැක්‌ටරය නවතා පැමිණි මාමා “මේ ඉන්නේ කාපු එකා…. පොළඟෙක්‌, පොළඟෙක්‌ යෑයි කෑ ගැසීය. මනීෂ අසලම මහ පොළව සමග පෙනී නොපෙනී පොළඟෙක්‌ මරු විකල්ලෙන් දඟලමින් සිටියේය. ඒ සම්පූර්ණ පොළඟෙකු නොවේය. පොළොං භාගයකි.

සී සාද්දී පොළඟා කෑලි කෑලි වලට කැපී කැඩී ගොස්‌ තිබුණි. මනීෂ හරියටම ඇවිද ගොස්‌ තිබුණේ එසේ කැපී ගිය පොළඟාගේ හිස ඇති කොටස ළඟටමය. පොළඟාද මරු විකල්ලෙන් හෝ පහරදී තිබුණේ දරවාගේ දිගු කලිසමට හෝ සපත්තුවට හෝ නොව ඒ අතර නිරාවරණය වූ අඟලක තරම කකුලේ ප්‍රදේශයටය.

කැපුණු පොළඟා බෑගයක දමා ගෙන මනීෂ ද රැගෙන ඔවුහු විනාඩි 5-10 වැනි වේලාවකින් යතුරුපැදියෙන් ආණමඩුව රෝහලට රැගෙන ආහ. ආණමඩුව රෝහලින් සේලයින් ලබා දෙමින් ඉතාමත් ඉක්‌මනින් පුත්තලම රෝහල වෙත ඇම්බියුලන්ස්‌ රථයකින් රැගෙන යන ලදි.

ඉන්පසු තොරතුරු පවසන්නේ මනීෂ සමග ඇම්බියුලන්ස්‌ රථයෙන් පුත්තලම රෝහලට ගිය ඔහුගේ මව චන්ද්‍රිකාය.

පුතා අපූරුවට ඇස්‌ ඇරලා බලලා මාත් එක්‌ක කතා කළා. දෙපාරක්‌ මගදී වමනය දැමුවා. එයාට වාහනයක යන්නට බෑ. වමනය යනවා. සර්ප විෂටද දන්නෙත් නෑ. ඉක්‌මනින් රෝහලේ වාට්‌ටුවට දාලා සේලයින් දුන්නා. ඒ අතර තුර පුතා මාත් එක්‌ක හොඳට කතා කළා. අහන ප්‍රශ්නවලට උත්තර දුන්නා.

මනීෂගේ තාත්තා ආවටත් පස්‌සේ තමයි ඉන්ජෙක්‌ෂන් එකක්‌ දුන්නේ. එතකොට විනාඩි හතළිස්‌ පහක්‌ විතර ගිහිල්ලා. දොස්‌තර මහත්තයා ඇවිල්ලා පහළොවක්‌ද දුන්නේ කියලා අහලා ඊට පස්‌සේ කිව්වා ඊළඟ සැරේ දෙද්දී අඩුවෙන් දෙන්න කියලා.

ටික වේලාවයි ගියේ. පුතා දැස්‌ උඩ දාලා එකපාරටම හුස්‌ම ඇරියා. එකපාරටම පුතා අපිව දාලා ගියා. ඇය හැඬූ කඳුළින්ම කීවාය.

මනීෂගේ පියා අතුල පවසන්නේ වෙනත් කරුණකි.

ඇයි මගේ පුතාම පොළඟ කාලා මැරුණේ. මේ පැත්තේ කොයි තරම් පොළොංගු, නයි, මාපිල්ලු දෂ්ට කරලා බේත් දීලා හොඳ වෙලා ඉන්නවාද? මගේ පුතා හොඳට කතා කරා. සිහිය තිබුණා. අපි පොළඟත් අරගෙන ආවේ පුත්තලම රෝහලින් ඉන්ජෙක්‌ෂන් දෙන්න පරක්‌කු වුණා. විෂ නඟින තුරු බලා සිටියා. අවසානයේදීත් දීලා තියෙන්නේ මේ පොඩි එකාට විෂ ඔරොත්තු නොදෙන තරමට ප්‍රති විෂ වැඩිපුර මිලි ග්‍රෑම් ප්‍රමාණයක්‌.

ඒක තමයි ඒ ඉන්ජෙක්‌ෂන් එක ගහලා ඉක්‌මනින්ම පුතා අපිව දාලා ගියේ. ඇයි වෛද්‍යවරු මගේ පුතාට එහෙම කළේ. තවත් මේ වගේ හදිසි අසාධ්‍ය අයට ඒ වගේ නොසැලකිල්ලෙන් වරද්දලා බෙහෙත් දෙයිද? ඒ කාටත් පාඩු නෑ. එයාලට මේක තවත් මරණයක්‌ විතරයි. ඒත් අපිට… අපිට හිටියේ එකම එක මැණිකයි. ඒ අපේ හදවත. එයා අපි දාලා ගියාට පස්‌සේ අපේ හෙට දවස ගැන කවර කතාද?

හේන්, කුඹුරු කොටා ඩාදිය හෙළා, කට්‌ට මහ පොළව සමග පට්‌ට ලෙස රිදවන සැඩ හිරු සමග ඔට්‌ටු වී මේ අසරණ ගැමියන් මහ මාලිගා හෝ සුරංගනා ලෝක අපේක්‍ෂා කරන්නේ නැත.

ඔවුනට අවශ්‍ය වී ඇත්තේ පන්සල, දහම් පාසල ඇසුරු කරන, ගුණ දම් සපිරි, පාසල් අධ්‍යාපනයෙන් දැනුම, අවබෝධය ලබාගත් දරු පැටවුන් සමග කුරහන් රොටියක්‌ ලුණු මිරිසක්‌ සමගින් හෝ බතක්‌, සම්බෝලයක්‌ කා සතුටින් නිවි සැනසිල්ලේ දිවි ගෙවන්නටය.

ඔවුන්ගේ සියලු අපේක්‍ෂාවන් මෙවන් අබග්ගයන්ගෙන් සුණු විසුණු වී යන්නේ නම් සැනසිල්ල වෙනුවට වැනසිල්ල ළං වනුයේ නම් ඒ ගැන කියන්නට වන්නේ ප්‍රදේශයට අධිපති අයියනායක දෙවිඳුන්ටම පමණි.

මනීෂගේ දේහය නිවසේ තබා තිබියදී දහස්‌ සංඛ්‍යාත පිරිස්‌ මේ පුණ්‍යකාමී පුතු බැලීමට ආහ. “අනේ අපොයි දරු පැටියා” කීහ. මනීෂගේ සිරුර ගල් නොවී සාමාන්‍ය ලෙස තිබෙනු දුටු ගම්මු මනීෂට පණ ඇතැයි සිතා වෛද්‍යවරුද, සර්ප විෂ වෛද්‍යවරුද යළි යළි හමුවී පරීක්‍ෂා කළහ.

එහෙත් මනීෂ ඒ වන විටත් මෙලොව හැර දමා ගොසින් බව ඔවුහු තහවුරු කළහ. සැබවින්ම මනීෂ මරා දැමුවේ පොළඟාද, වෛද්‍යවරුද, දෛවයද, යන්න තවමත් ගම්මුනට විසඳා ගත නොහැකි බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *